HOT

5/recent/ticker-posts

promo-container

1947 දී ගීයක් ගයන්න ගුවන්විදුලියට ගිය ගමනක්!

මා මුලින් ම ගුවන් විදුලියට ගියේ 1947 අග භාගයේදියි. ඒ ගුවන් විදුලියේ ළමා පිටියේ ගීයක් ගයන්නටය. ඒ වන විට මට අවුරුදු දෙක හමාරකට වඩා වැඩි නැත. කොළඹ නගරයේ සිට සැතැපුම් 15ක් පමණ දුරින් පිහිටි කොස්සින්න අපේ ගමයි. මට ඒ අවස්ථාව ලැබුණේ කොස්සින්නේ සිට කොළඹ නගරයේ පිහිටි මොන්ටිසෝරියකට ගිය නිසයි. ඒ කාලයේ දැන් මෙන් හැම ගමක ම පාහේ මොන්ටිසෝරි තිබුණේ නැත. පෙර පාසල කියා වදනක් තිබුණේ ද නැත. තිබුණේ මේ මොන්ටිසෝරිය පමණි. මා ගිය මොන්ටිසෝරිය තිබුණේ කොළඹ ග්‍රීන්පාත් ප්‍රදේශයේ ටරට් පාරට (අද ධර්මපාල මාවත) මුහුණලායි. ලංකාවේ ප්‍රථමවලට ආරම්භ වූ මොන්ටිසෝරි තුනෙන් එකක් ලෙස සැලකෙන ඒ මොන්ටිසෝරි ළදරු පාසල පවත්වාගෙන ගියේ කාමන් ගුණසේකර මැතිනියයි. අප ඇය ඇමතුවේ ‘කාමන් ඇන්ටි‘ කියායි. 


දොස්තර මාරියා මොන්ටිසෝරි මැතිනිය

ඒ ගීතය මට අද වගේ මතකයි. ඒ චිත්‍රා සෝමපාල නැන්දා ගැයූ ‘යමුනා යමුනා සෝබන ගංගා‘ යන ගීතයයි. ආතර් ඇම්. ද අල්විස් ලියූ එහි සංගීතය පී. එල්. ඒ. සෝමපාල මාමාගෙයි. එකල එය ලංකාවේ අංක එකට ජනප්‍රිය වූ ගුවන් විදුලි ගීතයයි. කාටත් පහසුවෙන් ගායනය කළ හැකි වූ එය නිතරම පිරිසක් එක්වූ තැන විනෝදයට ගයන්නක් ද වුණා. එය දෙවැනි වූයේ එකල බොහෝ සේ ජනප්‍රිය සී. ටී. ප්‍රනාන්දු මාමාගේ ‘සැලළිහිණි කොවුල් හඬ රැවු දෙන්නා වන උයනක සිරි පැතිරේ‘ යන ගීතයට විතරයි. 

යමුනා යමුනා සෝබන ගංගා - සුනිමල ජල දහරා 

ගලන්නා සුනිමල ජල දහරා 

යමුනා යමුනා සෝබන ගංගා - සුනිමල ජල දහරා 

විහිදා මඳ රශ්මී - හිරු නැඟ එති උදයේ 

පිබිදේ නෙක මල් සුවඳ හමා - නැලවේ මඳ සුළඟේ 

යමුනා යමුනා සෝබන ගංගා - සුනිමල ජල දහරා 

ගලන්නා සුනිමල ජල දහරා 

ලලනාවෝ බැස පීනා - සුලලිත රඟපාලා 

කොමල සිනා පා සුමධුර ගීතා - ගයතී ප්‍රීතියෙනා 

යමුනා යමුනා සෝබන ගංගා - සුනිමල ජල දහරා 

ගලන්නා සුනිමල ජල දහරා 

මුලින් ම මේ ගීතය ගෙදර දී කට පාඩම් කර ගෙන එන ලෙස අපට දැනුම් දෙනු ලැබුවා. මම අම්මාගේත් උදව් ඇතුව එය හොඳින් ගායනා කිරීමට පුහුණු වුණා. කුඩා දරුවකු වුවත් එහි තාලය අල්ලා ගැනීම මට එතරම් අපහසුවක් වුණේ නැහැ. පසුවදා උදේ මොන්ටිසෝරියට ගිය විට කලින් දවසේ දුන් ගීතය පාඩම් කළ අය කවුරුන්දැයි කාමන් ඇන්ටි පන්තියෙන් ඇසුවා. මගේ අත එසවුණා. ‘ගුඩ්බෝයි, යූ ආ ඕල්වේස් එහෙඩ් ඔෆ් අදර් ස්‘ කියා මගේ හිස අතගෑවා. 

ඊළඟට ඇය ‘අපි තව ටිකකින් ඒ සින්දුව පියානෝ වාදනයත් එක්ක ගයන්න පුරුදු වෙමු. මතක තියෙන විදියට පුළුවන් අය පියානෝ වාදයත් එක්ක ගයන්න.‘ කියා කීවා. මා පෙරටු කොට ගෙන පන්තියේ අනෙක් ළමුන් සියලු දෙනා වට කර ගෙන පියානෝව වාදනය කරමින් ඒ ගීතය අප ලවා ගායනය කෙරෙව්වා. අපට වැරදුන තැන් කියා දුන්නා. 

“ඊළඟ ඉරිදා සවස අපි ලංකාවටම ඇහෙන්න රේඩියෝ එකෙන් ඔය ගීය ගායනා කරනවා. ඒකට කවුරුත් ඔය සින්දුව හොඳට කට පාඩම් කර ගෙන සූදානම් වෙන්න ඕනෑ.“ කාමන් ඇන්ටි ඒ මුල්ම පුහුණුව අවසානයේ දී කිව්වා. කාමන් ඇන්ටිගේ මෙහෙයවීම පිට මා ද ඇතුළුව කුඩා ළමුන් පිරිසක් මේ සමූහ ගායනයට දින ගණනාවක් තිස්සේ පුහුණු කරනු ලැබුවා. 

ගුවන්විදුලියට යන්නට නියමිත දවස ඉරිදාවක් වූ නිසා අපට භාරකරුවකු සමග දවල් 1කට එහි පැමිණෙන ලෙසට දන්වනු ලැබුවා. මුල් ගුරුවරයකු වූ අපේ තාත්තා ඒ වන විට හද්දා වන්නියේ දුෂ්කර පාසලක සේවය කළ නිසා ඒ සඳහා සහභාගීවීම අපහසු වූ බැවින්, මාත්, මගේ නැඟණිය සුජාතාත්, එහි කැටුව යාම, තාත්තාගේ බාල නැඟණිය වූ සුදු නැන්දා බාර ගත්තා. ඒ වන විට ඇය බොරැල්ලේ පිහිටි ආයුර් වේද විදුහලෙහි අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවක්. එදා අප පදිංචිව සිටි කොස්සින්නේ මහ ගෙදර සිට නුවර පාරට ඇති සැතැපුම පයින් ගිය අපි ගම්පහ සිට කොළඹ බලා ගිය බසයකින් පිටකොටුවට ගොස් එතැනින් ක්වික්ෂෝස් කුලී රියකින් ටොරින්ටන්හී පිහිටි ගුවන්විදුලියට ගියා. 

ඒ වන විට අනික් අය කවුරුනුත් පැමිණ සිටියේ නැත. ඔවුන් එන තෙක් අපි තිදෙනා ගුවන් විදුලිය පිහිටි පාරේ අනිත් පැත්තේ විශාල ගහක හෙවණට වී සිටියා. සියලුම ළමා පිරිස පැමිණි පසු අපි හැමෝම ගුවන්විදුලියට ගියා. එහි ලොබියේ සිටි පිළිගැනීමේ නිලධාරිනිය හා කාමන් ඇන්ටි කතා කළ පසු අපට එහි ඇතුළු වීමට අවසර ලැබුණා. අපව පුහුණු කාමරයකට කැටුව ගොස් එහි තිබූ පියානෝව වාදනය කරමින් ගායන පරීක්ෂාවක් කර බලා ඉන්පසු, විකාශනය සඳහා නියමිත මැදිරියට යාමට අපට අවස්ථාව ලැබුණා. එහිදී අප සියලු දෙනාව ම දෙපේළියකට, මීවදයක් බඳු මයික්‍රෝ‍‍පෝනයක් වටේ සිට ගෙන සිටීමට සැලස්සුවා. නියමිත වේලාවට අසල වූ පිනෝව නැන්දා කෙනෙක් වාදනය කරද්දී අපි ‘යමුනා යමුනා‘ ගීය ගායනය කළා. ඒ කාලය තුළ මම බලා සිටියේ කාමන් ඇන්ටිගේ මුහුණ දෙසයි. ඇගේ මුහුණ සතුටින් පිරී යනු මම දුටුවා. මා තමා දෙස බලා සිටින බව දුටු ඇය හිස සලා මා දිරිමත් කළා. මා හරියට හුස්මක් හෙළුවේ ඒ ගීය ගායනය කිරීමෙන් අනතුරුවයි. තවමත් අපට කතා කිරීම තහනම් බව කාමන් ඇන්ටි මුවට දඹරැඟිල්ල තබා අපට සන් කළා. ගායනයෙන් පසුව අක්කා කෙනෙකු ගායනයට සහභාගිවූ අපගේ නම් මයික්‍රෝපෝනයට කීවා. ඉන්පසු අපට කතා නොකර හඬ නොනැඟෙන සේ සෙමින් විකාශන මැදිරියෙන් පිටතට යන සේ කාමන් ඇන්ටි අතින් සන් කළා. අපිත් ඇය අනුව යමින් හෙමින් සීරුවේ පිටතට ආවා. කාමන් ඇන්ටි ඇගේ සුපුරුදු හඬ අවදි කළේ පිටතට ආ පසුවයි. 

“ඔන්න දුවලා පුතාලා ඔයාලා ලංකාවටම ඇහෙන්න සින්දුවක් කිව්වා. සතුටුයි නේද?“ කාමන් ඇන්ටි කීවා. හැමෝම එක හඬින් මොන්ටිසෝරියේ දී පුරුද්දට මෙන් “සතුටුයි“ කියා කීවත්, මම කිසිත් නොකියා කරබාගෙන සිටියා. “ඇයි මේ පුතාට සතුටු නැද්ද?“ ඇය මගේ නිකටින් අල්ලා මුහුණ ඇය දෙසට හරවා ගනිමින් ඇසුවා. “ලංකාවටම ඇහුණත් අපිට ඒ සින්දුව ඇහුණෙ නෑනෙ.“ මම හෙමින් කීවා. 

“ඒක ඇත්ත. එහෙම කියන සින්දුවක් කියන අයට ඇහෙන්නේ නෑ. හැබැයි, අර ලොබියෙ ඉන්න ඔයාලාගෙ අම්මලා තාත්තලාට නම් එතැන තියෙන රේඩියෝ එකෙන් ඇහෙන්න ඇති.“ ඇන්ටි මගේ හිස අතගාමින් කීවා. 

අපි ලොබියට එන විට එහි සිටි සුදු නැන්දා මාවත් නංගීවත් පිළිගත්තේ සිනා මුසු මුහුණින්, “ඔයාලා හරි ලස්සනට කිව්වා. අපි මෙහෙ ඉඳගෙන අහගෙන හිටියා.“ කියමින්. වැඩිදුරක් යන්න තිබුණු නිසා අනිත් හැමට කලින් අපට යන්න කාමන් ඇන්ටි අවසර දුන්නා. අපි එතැනින් ක්වික්ෂෝවක් අරන් පිටකොටුවට ආවා. 

පිටකොටුවෙන් ගම්පහ බස් එකකට ගොඩ වූ අපි තිදෙනා ඉඹුල්ගොඩින් බසින විට හොඳට ම අඳුර වැටී තිබුණා. අප කැටුව යාමට හරමානිස් ආතා ලොකු හුළුඅත්තක් බැඳ ගෙන ඇවිත් සිටියා. එතැන් සිට අපේ ගෙදරට තිබූ හැතැප්ම එකහමාර අප ගියේ ඒ හුළුඅත්තේ පිහිටෙන්. 


කාමන් ගුණසේකර මොන්ටිසෝරි නිවස සඳහා 
වාස්තු විද්‍යාඥ බෙවිස් බාවා විසින් පසුව ඉදි කළ නව නිවස.


1944 දී ලංකාවට පැමිණි වේලේ මාරියා මොන්ටිසෝරි මැතිනිය 
ඇගේ පුත් මාරියෝ සමග පුහුණු සැසියක් පවත්වද්දී.

මගේ ජීවිතයේ මට ඇති පැරණිම මතකය, මීට වසර 80කට පමණ පෙර සිදුවූ ගුවන්විදුලියට ගිය ඒ ගමනයි. ඒවගේ ම දිනපතා වසර දෙකක් තිස්සේ කොළඹ මොන්ටිසෝරියට ගිය ගමන ද මට අමතක නොවන එකක්. නුවර පාරේ සැතැපුම් 15ක් (කිලෝමීටර් 24ක්) ගිය ඒ ගමන යන්නට අද වගේ දවසක නම් පැය භාගයකට වඩා ගත වන්නේ නැත. ඒත් අපි එදා ගෙදරින් පිට වුණේ උදේ හයට විතර. අපේ ගමන ඇරඹෙන්නේ අල්ලපු ගමේ ආරච්චිල වූ රූපසිංහ සීයලෑ ගෙදරිනි. ඔහුට අලුත්ම සන්බීම් රේපියර් ස්පෝට්ස් කාරෙකක් තිබුණා. අපි මොන්ටිසෝරියට ගියේ ඒ කාරයෙනුයි. අහල ගම් හතකවත් ඒ ජාතියේ කරෙකක් නැතැයි රූපසිංහ සීයා එදා පුරසාරම් කීවා මට මතකයි. ඔහු හැමදාම අපේ පළාතේ අංක එකය. කාරය පමණක් නොව ඔහුට වේගයෙන් යාහැකි ජවාධික කේප්ප ගොන්නාම්බකු බඳින තිරික්කලයකුත් තිබුණා. එංගලන්තයෙන් ගෙන්වන අලුත් කාරයට වඩා ඔහු ආසා කළේ ඒ තිරක්කලයටයි. තිරික්කලය කීවේ එක් අයකුට පමණක් යා හැකි පටු අසුනක් ඇති, උස සිහින් ලොකු රෝද දෙකක් සහිත රේස් කරත්තයකටයි. එයාගේ වටිනා කාරයටත් වඩා ඒ සීයා තිරික්කලයට ඇලුම් කළා. ඔහු එය කාටවත් අල්ලන්නවත් දුන්නේ නෑ. අඩු තරමින් කාරය පැද වූ ධර්මදාස මාමාටවත් එය පදවන්නට දුන්නේ නැත. කොටින් ම කීවොත් තිරික්කලයට ගොනා බැන්දේත් ඔහුගේ අතින්මයි. ගොනා බැන්ද පසු, එක කකුලක් නවා එහි පැත්තකට හැරී හිඳගන්නා ඔහු තෝන් ලණුව අතට ගෙන වේගයෙන් ගම වටා රවුමක් යයි. ඔහුට මේ වාහන දෙකට අමතරව තව බක්කි කරත්තයකුත්, බර බාගෙකුත් තිබුණා. ඒ ගමේගොඩේ ගමන් බිමන් යාමටයි. කාරය පාව්ච්චි කළේ වැදගත් ගමන් බිමන් යාමට හා ගම්පහට හෝ කොළඹට යාමට පමණයි. 

‘මාමෙ, කොළඹ දැන් තියෙනවා අලුත් ඉස්කෝල ජාතියක් මොන්ටිසෝරි කියල. පුංචි ළමයින්ට අමුතු විදියට උගන්වන. මගේ ළමයි දෙන්න දාන්නයි හිතන් ඉන්නෙ. මාමාගේ ළමයි තුන්දෙනාවත් ඒ මොන්ටිසෝරියට දාමු. මටත් එතකොට ගමන් වියදමෙන් කොටසක් දෙන්න පුලුවන්. කාරෙකෙන් කොළඹ යවන්නත් පුලුවන් නෙ.‘ අපේ තාත්තා කීවාම ආරච්චි සීයා එක පයින් කැමතිවෙලා තියෙනවා. එහෙමයි අපේ ඒ මොන්ටිසෝරි ගමන යෙදුනෙ. අපි උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා ආරච්චි සීයලෑ ගෙදරට යනවා. එතැන ඉඳන් තමයි කොළඹ ගමන පිටත් වෙන්න තිබුනෙ. ගමේම කෙනකු වූ ධර් මදාස මාමා අපි යන විට කලින්ම ඇවිත් කාරෙක මිදුලට ගෙන ගමනට සූදානම්ව සිටියා. 

මට ඒ මෝටර් රථය විස්මයක් ම වුණා. නවීන පන්නයේ මෝටර් රථයක් වූ එය රතු පැහැයෙන් බැබළුණා. ආසාව තිබුණත් සීරෙයි කියා බියෙන් මම එය අතගෑමටවත් ගියේ නැත. රියේ ඉදිරි අසුනට නැග්ගේ ආරච්චි සියාගේ ලොකු පුතායි. ඔහු මගේ සම වයසේ වුනත් නෑකමට මාමා වුණා. ඒත් මාමා කියනවාට ඔහු කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා මම ඔහුට ගාමිණී විතරක් කිව්වා. ඔහුගේ නංගිලා දෙන්නාටත් නැන්දා කියා අමතත්දී ලජ්ජාවෙන් ඇඹරුණු නිසා අපි ඒ දෙන්නාටත් සීතා හා රංජනී නමින් ම ඇමතුවා. මාත් මගේ නංගීත් ගියේ ඔවුන් සමග පසුපස අසුනේයි. මුල් ම දවස නිසා මට පාරේ සිදු වූ හැම දෙයක් ම විස්මයක් ම වුණා. රියැදුරු අසුන පසුපස වීදුරුව අසල නිසා මට අවට සිදු වන හැම දෙයක් ම හොඳින් දැක ගත හැකි වුණා. පාරේ වැඩි වාහන තිබුණේ නැහැ. අපේ වාහනය කොළඹ පැත්තට යන කරත්ත පෙළක් පසු කර ගියා. 

ඊළඟට අපේ වාහනය කඩවත ඉන්ධන හලක කණුවක් අසල නැවතුණා. ‘පිරෙන්නම ගහන්න‘ ධර්මදාස මාමා එහි සිට සේවකයාට කීවා. ඒ දවස්වල පෙට්ට්‍රල් ගැහුවේ ගැලුම්වලින්. කණුවේ මීටරේ 8 ඉලක්කම සටහන් වෙනවා මම බලා සිටියා. ධර්මදාස මාමා ඔහුට රුපියල් 10ක් දුන්නා. රුපියල් දෙකක් ඉතුරුත් ලැබුණා. ඒ ගණන හදාගන්න දැනුමක් පුංචි මට තිබුණේ නැහැ. ඒ නිසා ‘ගැලුමක් කීයද මාමෙ?‘ කියා මම ධර්මදාස මාමගෙන් ඇහුවා. ‘රුපියලකුත් සත විස්සයි‘ ඔහු කීවා. 

කිරිබත්ගොඩ දෙසට යන විට ටික ටික වාහන වැඩි වුණා. වැඩි හරියක් තිබුණේ කොළඹට බඩු ගෙනියන කරත්තයි. ශ්‍රී ලංකා බස් සමාගමට අයත් බස් රථයක් දෙකක් පසු කර ගෙන අපට පෑලියගොඩට ළං වන වාහන විට තදබදයකට මුහුණ දෙන්න සිදුවුණා. තදබදය ඉදිරියෙන් වූ කැලණි ගඟ හරහා යාමට දමා තිබුණු වික්ටෝරියා පාලම නිසා කියලා ධර්මදාස මාමා කිව්වා. ‘අපි අද පාරු පාලමෙන් යමු‘ කියා ඔහු අතරමගදී වමට හරවා පල්ලමකට බැස්සා. 


කොළඹට ඇතුළුවීමට පෑලියගොඩින් කැලණි ගඟ 
හරහා දමා තිබූ තොටළඟ පාරු පාලම.

එතන ලොකු තදබදයක් තිබුණේ නෑ. ඒ වික්ටෝරියා පාලම ඉදිකරන්න කලින් සිට පැලියගොඩින් තොටළඟින් මතුවීමට කැලණි ගඟ හරහා දමා තිබුණු පැරණි එතෙර වීමේ මාර්ගයයි. එය තනා තිබුණේ ගඟ හරහා දැමූ පාලම් පෙළක් මත ලෑලි ඇතිරීමෙනුයි. බයිසිකල් කරුවන් විශාල පිරිසක් පාලම ඔස්සේ එක පේළියට එතෙර වෙමින් සිටියා. බඩු පටවා ගත් අත් කරත්ත ද ඒ අතර වුණා. ධර් මදාස මාමා සීරුවෙන් අපේ රථය ද පාරු පාලමෙන් එතෙර කළා. එය කුඩා අපට අලුත් අත්දැකීමක් වුණා. ඔහු එතෙර වන තැන දී ශත 25ක ගාස්තුවක් දුන්නා. 

මට මෙතෙන්දි ප්‍රශ්නයක් මතු වුණා. ‘මාමේ, ගඟ හරහා දාල තියෙන මේ පාරුපාලම නිසා කොහොමද කැලණි ගඟේ බෝට්ටු යන්නේ ?.‘ ඒ යාත්‍රාවලට යන්න ඉඩ දෙන්න මේ පාරු පාලමෙන් මැදින් කොටසක් හරියට දොරක් අරිනවා වගේ අයින් කරනවා. ඒ වෙලාවෙදි අපට මේ වගේ එගොඩ වෙන්න බැහැ‘ ධර් ම දාස මාමා කීවා. 

එතැනින් පිටත්වුණු අපේ වාහනය ඇතුළු වාහන ඊළඟට හිරවුණේ දෙමටගොඩ දුම්රිය හරස් පාර ළඟදියි. එතැන තිබුණෙ තාප්පයක් වගේ උස දෙපැත්තට අරින ගේට්ටු දෙකක්. හතර දෙනෙක් ඕනැ වුණා ඒ ගේට්ටුව අරින්න. රේල් පාරේ එහාට මෙහාට ගිය කෝච්චිවල වහලවල් විතරයි අපට පෙනුනෙ. ඒවා ගියාට පස්සේ අපට යන්න අවසර ලැබුණා. 

ධර් මදාස මාමා අපේ කාරෙක ටරට් පාරෙ කාමන් ගුණසේකර මොන්ටිසෝරි හවුස් එක ඉදිරිපිට පාර අයිනෙ නවත්තලා ගේට්ටුව ඇරලා අපි පස් දෙනාව අත්වලින් අල්ලගෙන ගිහිල්ලා ඇතුළෙ හිටිය අක්කා කෙනකුට බාර දුන්නා. ‘දූලා පුතාලා මේ ගේට්ටුවෙන් පාරට එහෙම යන්න එපා! මං හරියටම ඉවරවෙන වෙලාවට එක්ක යන්න එනවා.‘ අපේ ඔළුව අතගාලා ධර්මදාස මාමා කිව්වා. ‘බය වෙන්න එපා! අපි එයාලව හොඳට බලා ගන්නව. එකොළහමාරට එන්න එක්ක යන්න‘ කියාල ඒ අක්කා කිව්වා. 

මේ මොන්ටිසෝරිය පැවැත්වුණේ කාමන් ගුණසේකර ඇන්ටිගෙ ගෙදරයි. ඒ ගෙදර මිදුලෙ හරිම ලස්සනට මල් වවලා තිබුණා. කෙළවරට වෙන්න පාට පාට සතුටු උයනක් වගේ එකක් තිබුණා. ඔචිල්ලා තුනක්, සී සෝ දෙකක්, පඩි පෙළක් නැගලා ගිහින් බිමට එන රූටනයක් තිබුණා. කලින් ආපු ළමයි ඒවායේ සෙල්ලම් කරනු අපි දැක්කා. අද නිතරම අපේ ගම්වල පැවැත්වෙන මොන්ටිසෝරිවල මේවා තිබුණත් එදා තිබුණේ එතන විතරමයි. අපට ඒක එදා ලොකු පුදුමයක් වුණා. 

ඒ කාලේ අපි අකුරු ලියන්න පටන් ගත්තෙ වැලිපිල්ලේ. වැලිපිල්ල කියන්නේ සියුම් වැලි අතුරාගත්තු ලෑල්ලක්. අපේ ගෙදරත් වැලිපිල්ලත් තිබුණා මට මතකයි. ඒ කාලේ ගල්ලෑල්ලයි ගල් කූරයි අරන් අකුරු කරන්නට අපේ ගමේ ඉස්කෝලෙට ගිය ළමයින්ට වඩා අපට ඒ මොන්ටිසෝරි පරිසරය ඉතාමත් ප්‍රබෝධමත් එකක් වුණා. සෙල්ලම් කරමින්, කතන්දර වගේ ම ගී සින්දු අසමින් ගයමින්, චිත්‍ර අඳිමින්, අමුතු දේවල් මැටිවලින් කොළවලින් අපට කැමති දේ හදමින් අපි කාලය ගත කළා. පරිස්සමට යම් යම් දේවල් කරන්න, පිරිසිදුව හරියට කෑම ගන්න හැටි කියා දුන්නා. ඉංග්‍රීසි පොත්වල තිබුණුු සුරංගනා කතා අපි මුලින් දැක ගත්තේ, අහ ගත්තේ එහෙදියි. හැම දෙයක් ම කීවේ කළේ ඉංග්‍රීසියෙන්. වචන දෙක තුනකින් ඉංග්‍රීසියෙන් කියන ගමන් ඒකට අතින් සංඥාවල් එකතු කරමින් මුහුණේ ඉරියව්වලින් හැඟීම් පළ කරමින් ඔවුන් අපට ඉගැන්වූ නිසා අපට ඒක ඒ තරම් ගැටලුවක් වුණේ නෑ. නොතේරෙන දෙය සිංහලෙනුත් කියා දුන්නා. 

සොඳුරු පරිසරයක් තුළ සෙල්ලම් කරමින්, අපි ආසා කළ ක්‍රියාකාරම්වල යෙදෙමින් ඉගෙන ගන්නට මේ නව අධ්‍යාපන ක්‍රමය නිසා එදා අපට අවස්ථාව සැලසුණා. අද මොන්ටිසෝරි ක්‍රමයේ ආස්වාදය ලබන්නට රටපුරා පමණක් ලොව පුරා හැම දරුවකුටම අවස්ථාව සැලසී තියෙනවා. 

මේ මොන්ටිසෝරි ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ 1935 දී මාරියා මොන්ටිසෝරි මැතිනියයි. එතුමිය ඉතාලි ජාතික වෛද්‍යවරියක්. මේ ළදරුවන්ට උගන්වන අපූරු ක්‍රමය ඇගේ නිර් මාණයක්. ඇය, 1944 දී ලංකාවට පැමිණියා. ඒ ලංකා ගුරු සංගමයේ ඇරයුමෙන්. මොන්ටිසෝරි ක්‍රමයේ නිර් මාතෘ ලෙස ඇය ලොව පුරා අධ්‍යාපනඥයන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මාරියා මොන්ටිසෝරි මැතිනිය ගෙන් කෙළින් මේ ගුරු පුහුණුව ලත් මෙරට මුල්ම සිසුවියන් කීපදෙනාගෙන් කෙනෙකු වූ කාමන් ගුණසේකර මෙණෙවිය තමයි මා ගිය මොන්ටිසෝරිය පටන් ගත්තේ. ඇය ඊට කලින් මොන්ටිසෝරි මැතිනියගේ සිසුවියක වූ ජොයිස් ගුණසේකර මැතිනිය හවුල් කරගෙනයි, ටරට් පාරේ අංක 85 දරණ ස්ථානයේ මේ මුල්ම මොන්ටිසෝරිය පටන් ගෙන තිබුණේ. 

ලංකාවේ පළමුවුරට මොන්ටිසෝරියක් ආරම්භ වූයේ 1944 වසරෙදි. ඒ කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙදියි. එහි පළමු පාලිකාව වූයේ රීටා ක්ලියරි කන්‍යා සොහොයුරියයි. ඒ වසරේදී ලංකා ගුරුසංගමයේ ඇරියුමින් දොස්තර මාරීයා මොන්ටිසෝරි මැතිනිය සහ ඇගේ පුත් මාරියෝ ලංකාවට ආවා. 

ඊට කලින් මෙරට මොන්ටිසෝරියට පුරෝගාමී වූ ජොයිස් ගුණසේකර ඉන්දියාවට ගොස් කල්කටා නුවර අඩෙයාර් හිදී දොස්තර මාරියාගන් පුහුණුව ලබා තිබුණා. ජොයිස් ගුණසේකර මෙණෙවිය හැරුණු විට ලීනා වික්‍රමරත්න යන මෙණෙවියත් මාරියා මැතිනියගේ මුල් ගෝලයන් වුණා. කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ දී මාරීයා මොන්ටිසෝරි මැතිනිය හා ඇගේ පුත් මාරියෝ මොන්ටිසෝරි මෙරට ප්‍රථම මොන්ටිසෝරි පුහුණුු සැසිය පැවැත් වූයේ ජොයිස් හා ලීනා යන දෙපළගේ  සහය ඇතිවයි. 

ඒ පුහුණු සැසියෙන් පසු 1944 දී පළමු මොන්ටිසෝරිය එහිදී ආරම්භ වුණා. මේ ළදරු අධ්‍යාපන ක්‍රමය මෙරට ප්‍රචලිත කිරීම යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරින්ගේ නිකායට බාර කෙරුණා. මේ සඳහා ඔවුන් පිහිටුවා ගත් මොන්ටිසෝරි පුහුණු ආයතනයට අන්තර්ජාතික ඒ ඇම් අයි AMI පවුලේ සාමාජිකත්වයද පිරිනැමුණා. එහි මූලස්ථානය පිහිටියේ නෙදර්ලන්තයේ යි. 

මෙරට මොන්ටිසෝරි ක්‍රමය ප්‍රචලිත කිරීමේ වගකීම මාරියාගේ මුල් ශිෂ්‍යාවන් වූ ජොයිස් හා ලීනා යන දෙපොළට බාර වූ අතර 1944 වසරේදී ම කොල්ලුපිටියේ දී ඔවුන් වෙන වෙනම මොන්ටිසෝරි දෙකක් ආරම්භ කළා. ජොයිස් ගුණසේකර මාරියාගේ මෙහි පැවති මුල් පුහුණුවට එක්වූ කාමන් ගුණසේකර සමග ටරට් පාරේ මොන්ටිසෝරියක් පටන් ගත්තා. ලීනා වික්‍රමරත්න මෙණෙවිය කොල්ලුපිටියේ ආරම්භ කළ මොන්ටිසෝරිය පසුව ඇගේ නිජබිම වූ මහනුවරට ගෙන ගියා. 

මොන්ටිසෝරි මැතිනිය 1952 මැයි 6 වැනිදා මියගිය අතර ඇගේ පුත් මාරියෝ මොන්ටිසෝරි ක්‍රමය ප්‍රචලිත කිරීම ඉදිරියට ගෙන ගියා. 1963 දී ජෝන් බොස්කෝ සහ ස්ටැනිස්ලෝස් වාස් යන කන්‍යා සොහොයුරියන් නෙදර්ලන්තයට ගොස් මාරියෝ හමුවුණා. එහිදී මොන්ටිසෝරි මැතිනිය විසින් රචනා කරන ලද The Secret of Childhood ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කිරීමට අවසරයද ලබා ගත්තා. ආපසු ගමනේ දී වාස් කන්‍යා සොහොයුරිය ඉන්දියාවේ කල්කටා නුවරට ගොස් වැඩිදුර ගුරු පුහුණුව සඳහා නැවතුණා. 

මොන්ටිසෝරි ගුරුපුහුණුව සිංහලෙන් ආරම්භ වූයේ 1964 දී, යහපත් එඬේරා කන්‍යාරාමයේ පිහිටි AMI පුහුණු මධ්‍යස්ථානයේ දියි. ඒ ශිෂ්‍යාවන් 14කගෙන්. එය මෙරට මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකන්න පුළුවන්. දිවයින පුරා පැවැත්වෙන මොන්ටිසෝරිවල මෙහි පුහුණුව ලැබූ ශිෂ්‍යාවන් දහස් ගණනක් සේවය කරනවා. එපමණක් නොව, AMI පුහුණුව ඉංග්‍රීසියෙන් ලැබූ කතුන් දහස් ගණනක් මේ වන විට ලොවපුරා රටවල සේවය කරනවා. 

වසර 2000දී මාරියා මොන්ටිසෝරි මැතිනියගේ 130 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර් තමේන්තුව සමරු මුද්දරයක් ද නිකුත් කර ඇගෙන් වූ සේවයට ගෞරව දක්වා තියෙනවා. තනි කාන්තාවක ලෙසින් ළදරුවන් සඳහා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ප්‍රචලිත කළ දොස්තර මාරියා මොන්ටිසෝරි මැතිනිය එයින් මිනිසාට කළ සේවය අද්විතීය එකක්. 

 පර් සි ජයමාන්න 


අදහසක් පළ කරන්න

0 Comments